Thursday, January 12, 2012

තුන් තකතීරු කං කරපු කෙනෙක් මං - චේතන් භගත්

THE 3 MISTAKES OF MY LIFE – Chetan Bagat
තුන් තකතීරු කං කරපු කෙනෙක් මං - චේතන් භගත්
පරිවර්තනය -දිලීප ජයකොඩි
ෆාස්ට් පබ්ලිෂින් ප‍්‍රකාශනයකි
මිළ රු. 500

විසි එක්වැනි සියවසේ ආරම්භක දශකයේ මුල් භාගයේදී ඉන්දියාවේ පැවති සමාජ, ආර්ථික හා දේශපාලනික තත්වයන් පිළිබදව කියවන්නාට රසවත් ආරකින් අවබෝධයක් ලබාදෙන්නා හාම ඉතා සුන්දර කතාන්තරයක්ද ඉදිරිපත් කිරීමට රචකයා මෙහිදී සමත් වී ඇති බව කිව හැකිය. ඉන්දියානු ජනසමාජයට පමණක් නොව ශ‍්‍රී ලංකාවටද බොහෝ සමීප සමාජ තත්වයන් හා සිදුවීම් මෙහිදී විස්තර කෙරේ.
ගෝවින්ද් නම්වන කථකයා ඉෂාන් සහ  ඕමි නම්වන තම මිතුරන් දෙදෙනා සමග ක‍්‍රීඩා භාණ්ඩ අලෙවිය සදහා ව්‍යාපාරයක් ආරම්භ කරයි. කතානායකයා ගෝවින්ද ගණිතයට සමත්කම් දක්වන නමුත් ඉංජිනේරු ප‍්‍රවේශය අසමත් වේ. එහෙත් ඔහු එම අහමදාබාද් ප‍්‍රදේශයේ ගණිතයට සමත්කම් දක්වන්නකු ලෙස දිනා සිටින ප‍්‍රසාදය හේතුවෙන් ගණිතය පිළිබද උපකාරක පන්ති පැවැත්වීම හරහා යම් ජනප‍්‍රියතාවයක් දිනා ගැනීමටද ඔහු සමත් වේ. මේ හරහා ඔහුගේ ව්‍යාපාරික සගයා වන ඉෂාන්ගේ නැගණියගේ ටියුෂන් ගුරුවරයා වීමේ වරම් ලබන ගෝවින්ද් ඇය හා පේ‍්‍රම සම්බන්දයක් ඇතිකරගනී. එය ඉෂාන්ට හෙළිදරව් වන්නේ නොසිතූ අවස්ථාවකය.
ඉෂාන් පාසැල් මට්ටමේ දස්කම් දක්වන ලද ක‍්‍රිකට් ක‍්‍රීඩකයෙකි. එබැවින් ක‍්‍රිකට් ආම්පන්න අලෙවි කිරීමේ ව්‍යාපාරික කටයුත්ත හා සමගාමීව ක‍්‍රිකට් පුහුණු වැඩසටහනක්ද ඉෂාන්ගේ මෙහෙයවීමෙන් ක‍්‍රියාත්මක කරනු ලැබේ. මෙම පුහුණුව අතරතුරදී ඔවුන්ට මුණගැසෙන සහජ හැකියාවෙන් පිරිපුන් අසහාය ක‍්‍රීඩකයා අලී ය. අලී මුස්ලිම් ජාතිකයෙකි. එමෙන්ම අලීගේ පියා භාරතීය ජනතා පක්ෂයේ ක‍්‍රියාකාරිකයෙකි. අලී සමග ඇතිවන සම්බන්දතාවය හේතුවෙන් තෙමිතුරන්ගේ ජීවිත වල ඉතා තීරණාත්මක හැලහැප්පීම් සමුදායක් ඇතිවේ.
අනෙක් මිතුරා  ඕමි බෙල්රාම්පූර් කෝවිලේ පූසාරි වරයාගේ පුත‍්‍රයායි. නමුත් ඔහුට තම අනාගත දිවිය පූසාරියෙකු ලෙස ගෙවීමට අවශ්‍ය නැත. එබැවින් ඔහුද ඉතා උනන්දුවෙන් තෙමිතුරන්ගේ ව්‍යාපාරික කටයුතු වලට සම්බන්ද වේ.  ඕමිගේ මාමා හින්දු ආගමට නැඹුරු මදක් අන්තවාදී පක්ෂයක ක‍්‍රියාකාරිකයෙකි. එබැවින් තෙමිතුරන්ද හින්දුන් නිසා එම පක්ෂයේ ක‍්‍රියාකාරී වැඩ සදහා ඔවුන්ද සහභාගි විය යුතු බව ඔහු තරයේ අදහයි. භාරතීය ජනතා පක්ෂය විසින් මුස්ලිම් ජාතිකයන් පෝෂණය කරන බවත්, බහුතර ජාතිය වශයෙන් හින්දුන්ට හිමිවිය යුතු වරප‍්‍රසාද භාරතීය ජනතා පක්ෂ පාලනය විසින් අහිමි කර ඇති බවත්, එයට විරුද්ධව හින්දු ආගම මූලික කරගත් ජනතා ව්‍යාපාරයක් ගොඩනැගිය යුතු බවත් ඔහුගේ දේශපාලන දැක්ම වේ. මේ හේතුවෙන් තෙමිතුරන්ගෙන්  ඕමි කැමැත්තෙන්ම සහ ඉෂාන් හා ගෝවින්ද් අකමැත්තෙන් මෙම හින්දු මූලික දේශපාලන කටයුතු සදහා සහභාගි වෙති. 
මේ ආකාරයෙන් එක් පසෙකින් මුස්ලිම් ජාතික අලීද අනික් පැත්තෙන් හින්දු අන්තවාදී මාමාද අනෙක් පැත්තෙන් ඉෂාන්ගේ නැගණිය විද්‍යාද තවත් පැත්තකින් ව්‍යාපාරික කටයුතුද යන සිව් වැදෑරුම් අභියෝග හමුවේ වැඩිපුරම පීඩාවට පත්වන්නා ගෝවින්ද්ය. මෙම අභියෝග සමග කාලයක් තිස්සේ ඔහු කරන සටනද එයින් ඔහුගේ සහ මිතුරන්ගේ ජීවිත වල සිදුවන උස්පහත්වීම්ද අවසානයේ මේ අභියෝග වල ප‍්‍රතිඵලයක් ලෙස ගෝවින්ද්ට තම ව්‍යාපාරය හැර අනෙකුත් සියල්ල අහිමිවන ආකාරයද මනරම් අයුරින් මෙහි විස්තර කර ඇත. මිනසකු සියදිවි නසාගන්නේ මන්ද? යම් අයෙක් සියදිවි නසාගත් පසුව හෝ සියදිවි නසාගැනීමට තැත්කර අනූ නවයෙන් ගැලවුණු අවස්ථා වලදී අප සමාජයේ බහුතරය කියන්නේ කුමක්ද? ”ඔළුව හොද නැති මෝඩයෙක්, එයාට මොනවද සියදිවි නසාගන්න තරම් තිබුණ ප‍්‍රශ්න, එයාටයැ අපටනෙ ප‍්‍රශ්න තියෙන්නේ, දුකකිනි මිනිසත් බව ලැබගන්නේ” වැනි අති පණ්ඩිත කතා එවැනි අවස්ථා වල අපට කොතෙකුත් අසන්නට ලැබේ. කෙසේ වෙතත් මෙම ප‍්‍රකාශ සියදිවි නසාගත් අයෙකු හෝ සියදිවි නසා ගැනීමට තැත් කළ අයෙකු සම්බන්දයෙන් ප‍්‍රකාශ කරන්නා බොහෝවිට සිටින්නේ සියදිවි නසාගනු ලබන්නාගේ සිතුවිලි සහ මානසික මට්ටම අවබෝධ කරගත නොහැකි තරමේ දුරස්ථවූ ආස්ථානයකය. සමාජයේ සියදිවි නසාගන්නා ඇතමුන්ට ඒ සදහා නිශ්චිත හේතුවක් ඇති අතර එම හේතුව බාහිර සමාජයටද පැහැදිලිව පෙනේ. අනාරක්ෂිත ගැබ්ගැනීම්, පේ‍්‍රමය අහිමිවීම්, අධික ණය බරින් මිරිකීම් වැනි අනේකවිධ ඍජු හේතු නිසා මිනිසුන් සියදිවි නසා ගනිති. නමුත් නිශ්චිත හේතුවක් අවබෝධ කරගත නොහැකි අන්දමින් සියදිවි නසාගන්නා අවස්ථාද දුලබ නොවන බව සමාජය දෙස මදක් අවධානය යොමු කිරීමේදී පෙනී යයි. විවිධාකාර කුඩා හේතූන් රාශියක් ඒකරාශී වී ජීවිතය ගැන කළකිරීම, ජීවත් වූවා ඇති යැයි සිතීම, ජීවත් වීම දරාගත නොහැකි උදාසීන අත්දැකීමක් බව හැගී යාම වැනි හේතුන් නිසා සියදිවි නසාගන්නෝද සිටිති. මා කුඩාකළ කියැවූ පුවත්පත් වාර්තාවක තිබූ පරිදි එක්තරා විශ‍්‍රාමික රජයේ පරිපාලන නිලධාරියෙකු සියදිවි නසා ගැනීමට තීරණය කරන්නේ තමා ජීවිතයේ ළගා කරගතයුතු සියළු සැප සම්පත් අත්පත් කරගත් බවත් තමාට තවදුරටත් ජීවිතයේ අරමුණත් නොමැති බවත් විශ්වාස කිරීම නිසා ජීවත් වීමේ තෘප්තිය දරාගැනීමට නොහැකි වීම තුලින්ය. මොහු පිස්සෙකැයි ඔබට ඉතා පහසුවෙන් කිවහැකිය. නමුත් අප අමතක නොකළ යුතු කාරණාවක් වන්නේ මෙසේ සියදිවි නසාගන්නෝ අමුතු ග‍්‍රහලෝකයකින් පැමිණි අමුතු මනුශ්‍ය කොට්ඨාශයක් නොව ඔබත් මමත් වැනි අතිශය සාමාන්‍ය මිනිසුන් පිරිසක් පමණක් වීම නිසාය. එබැවින් සියදිවි නසාගැනීමක් හෝ එයට උත්සාහ දැරීමක් පිළිබදව ශ‍්‍රවණය කිරීමට ලැබුණු විට එය අදාළ පුද්ගලයාගේ හුදු පිස්සුවක් ලෙස සැලකීමට වඩා එම සිදුවීමට මගපාදන ලද වටපිටාව වඩාත් විචාරශීලීව අධ්‍යනය කිරීම වඩා වැදගත් බව මට හැගේ.
තුන් තකතීරුකම් කරපු කෙනෙක් මං ඔබට එවන් සිදුවීම් සමුදායක් සම්බන්දයෙන් සියදිවි නසාගන්නාගේ දෘෂ්ටිකෝණය මනාලෙස පැහැදිලි කරදෙයි. මිනිසකු ජීවත් වන පරිසරය, එම පරිසරය තුල මිනිසා විහින් පණවාගන්නාලද සීමාවන් සහ තීරණාත්මක අවස්ථා වලදී මිනිසාගේ එම අගතිදායක සීමාවන් විසින් මිනිසත්කම පරාජය කරනුලබන ආකාරයත් මෙහි මනාව විග‍්‍රහ කෙරේ. ඉතා සරළවූද සුන්දරවූද වාග් විලාශයකින්  ඕනෑම කෙනෙකුට කියවීමට සිතෙන ආකාරයේ විසම්මුතික රචනා ශෛලියක් අනුගමනය කර ඇති මේ ග‍්‍රන්ථය ඔබගේ ජීවිතය දෙස ආපසු හැරීබැලීමට ඔබවම පොළඹවනසුළු ඉතා ශක්තිමත් නිර්මාණයකි.

3 comments:

  1. මේ දින වල මෙම පොත (ඉංග්‍රීසි) කියවමින් සිටිමි.

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. can i know from where i can buy English version of this book

      Delete