Friday, January 13, 2012

හිරු නොදුටුවෙමු - ඇල්ෆ‍්‍රඞ් ලැන්සිං

ENDURANCE – Alfred Lansing

හිරු නොදුටුවෙමු - ඇල්ෆ‍්‍රඞ් ලැන්සිං
පරිවර්තනය - ඉන්ද්‍රාණි කරුණාරත්න
ආශිර්වාද ප‍්‍රකාශකයෝ
මිළ රු. 490
වීරයෙකු සේ සමාජයේ කැපී පෙනීමට මිනිසුන්ගේ ඇති කැමැත්ත අතීතයට වර්තමානයට මෙන්ම අනාගතයටද පොදු වන්නකි. ඒ සදහා කලින් කලට මිනිසුන් විවිධාකාර උපක‍්‍රමයෝ භාවිතා කරනු දැකිය හැකිය. වීරත්වය ලොවට මෙන්ම තමාටද හුවාදක්වා ගැනීම තම ජීවිතයට සාධාරණත්වය ඉටුකිරීම යැයි අදහන, වීරත්වය ආත්මය කරගත් අසහාය මිනිසුන් තවමත් හිග නොවෙති. විසිවැනි සියවසේ මුල් භාගයේ ඒ කටයුත්ත සදහා බොහෝ දෙනා තෝරාගත් මාර්ගය වූයේ දේශ ගවේශණයයි. සාමාන්‍ය මිනිසාට ළගා විය නොහැකි ස්ථාන කරා ළගා වන්නවුන් එයින් අපමණ ආත්ම තෘප්තියක් ලබාගත්තා පමණක් නොව ලෝකවාසී ජනතාවගේ සම්භාවනාවටද පාත‍්‍ර වූහ. මෙම සත්‍ය කතාවෙන් කියැවෙන්නේ එවැනි වීර චාරිකාවක් සදහා පිටත් වී අවසානයේ අනූ නවයෙන් නමුත් සියළු දෙනාගේම දිවි ගලවාගැනීමට සමත්වන ගවේශණ කණ්ඩායමක මනබන්දනීය කතාන්තරයයි.
පළමුවැනි ලෝක මහා සංග‍්‍රාමය ආරම්භවූ සමයේ සර් අර්නස්ට් ෂෙකල්ටන් නැමති ප‍්‍රසිද්ධ දේශ ගවේශකයා ගවේශණයක් සූදානම් කරන්නේ දක්ෂිණ ධ‍්‍රැවය හරහා ගමන් කිරීමටය. ඒ සදහා අපමණ උත්සාහයක් දරා, අනුග‍්‍රාහකයින් සපයාගෙන, අවශ්‍ය කාර්ය මණ්ඩලය බදවාගෙන ගමන් ආරම්භ කිරීමට ඔහුට පුරා වසර දෙකක කාලයක් ගතවිය. ඔහු ඒ සදහා තෝරාගන්නා රුවල් යාත‍්‍රාව ”එන්ඩියුරන්ස්” ය.
”කුඹගස් තුනක් සහිත රුවල් නැවක් වූ එන්ඩියුරන්ස්හි පෙනුම සිත් ඇදගන්නාසුළු එකකි. ඇගේ පතුලේ සම්පූර්ණ ඝනකම අඩි හතයි අගලක් වන පරිදි එක පිට එක තැබූ ශක්තිමත්, සෙරු ඔක් ලී තට්ටු හතරකින් නිමවා තිබිණ.”
එසේ ශක්ති සම්පන්නව සාදන ලද එන්ඩියුරන්ස් දකුණු ජෝර්ජියානු දුපත් වලින් පිටත් වී මාස එකොළහයි දින දහසයකට පසු එහි නැවියන්ව වෙඩෙල් මුහුද මධ්‍යයේ අවිනිශ්චිතතාවයේ අතරමං කර දමා ගිලී ගියාය. එතැන් සිට ඇරඹෙන්නේ චාරිකාවේ අරමුණ පසෙක තිබියදී තම ජීවිත උදෙසා පුරා වසර දෙකකට ආසන්න කාළයක් තිස්සේ නිරතුරුවම මරු තුරුලේ හිදිමින් මරණය හා සටන්විදින්නා වූ සැබෑ මිනිසුන්ගේ කතාවයි.
මුහුද සහ චණ්ඩ මාරුතය නැව් සම්බන්දයෙන් කෙතරම් මාරාන්තික දැයි කීමට අටුවා ටීකා අනවශ්‍යය. නමුත් තෙරක් නොපෙනෙන මහා අයිස් තට්ටුවක් මත අතරමං වූ අසරණ මිනිසුන් පැහැදිලි මුහුද දකිනු රිසියෙන් සිය දහස් වාරයක් ක්ෂිතිජය දෙස නෙත් යොමන්නට ඇත. අතිශය මාරාන්තික, පීඩාකාරී චණ්ඩ මාරුතය ඔවුන්ව පීඩාවට පත්කරන්නාහාම උතුරට ඔවුන් තල්ලූ කරමින් තමන්ගේ ගැලවීමට තවත් යාරයකින් දෙකකින් හෝ සමීප කරවන බව දන්නා නිසා චණ්ඩ මාරුතයට ඔවුහු පණමෙන් ආලය කලෝය. මිනිසෙකුට අද ඇති තරම් කෑමට ආහාර ඇත. නමුත් තවත් සති දෙකකින් කෑමට කිසිත් නොමැතිව අසරණව ළපටි කළ පටන් සුරතල් කර සැදු බල්ලා මරා ආහාරයට ගැනීමට සිදුවීම කරනවාට වඩා කීම පහසු කාර්යයකි. ඒත් මේ අනුපමේය මිනිසුන්ට දිවි ආරක්ෂා කරගැනීමට ඇතැම් අවස්ථා වලදී එවැනි දෑද කිරීමට සිදුවිය.
”ඌ හරිම හොද, කීකරු, හොදට මහන්සි වෙන්න පුළුවන් සතෙක්. පුංචි කාලේ ඉදලම ඌව බලාගත්තේ, කැව්වේ පෙව්වේ, හුරතල් කලේ මම. පුංචිකාලේ මම යන තැනක ඌව අරන් යන්නේ සාක්කුවට ඔබාගෙන. ඔළුව එළියට දමලා හැමදේම බලන්න තියෙන උනන්දුව හින්දා ආපහු එනකොට පුංචි හිමකැට උගේ පුංචි නහය උඩ මිදිලා.” හෙට දිනයේ මරා දැමීමට නියමිත තම සුරතල් බල්ලා ගැන එක් නාවිකයෙකු දිනපොතේ එසේ ලීවේය.
”කිසිම සතෙකුට සිදුවන දේ ගැන අවබෝධයක් නොතිබුණෙන් උන් වයිල්ඞ්අඩගැසූ විට ළගට ආවේ සතුටින් වල්ගය වනමිනි. බල්ලන් අයිස් මත හිදුවන වයිල්ඞ් උන්ගේ හිසටම වෙඩිතබා මරා දැමුවේය.”
” ඕනෑම උත්සවයකට වුණත් හොදයි, සීල් මාළුම කකා ඉදලා අප්පිරියා වෙලා හිටියේ. නෙල්සන් කෑල්ලක රහ බලන්න.”
මේ මිනිසුන්ගේ දිවි සුරක්ෂිත වූයේ එසේය. ටිකෙන් ටික අයිස් මිදෙන සීමාවෙන් ඈත්වන ඔවුන් තම බෝට්ටු ත‍්‍රිත්වය යොදාගෙන තවත් උතුරට යාත‍්‍රා කරන්නට උත්සාහ කරන්නේ දිශා ගණනය ඉතා සුළු වරදක් මාරාන්තික දෛවෝපගත වරදක් විය හැකි තත්වයක් යටතේය. කෙසේ වෙතත් අවසානයේ සර් අර්නස්ට් ෂෙකල්ටන්ගේ නායකත්වයේ මහිමයද, සෙමෙන් වුවද උතුරට හමමින් හිම ස්ථරයෙන් ඔවුන් ඈත් කලා වූ මාරුතයද, යම්තාක් දුරකට වාසනාවද පිහිටාධාර කරගනිමින් සිය ජීවිත බේරා ගැනීමට සමත් වෙති. දක්ෂිණ ධ‍්‍රැවය ආසන්නයේ දියවැල් ගහණ කළාපයක කුඩා දිවයිනක් ඉලක්ක කරගෙන අබලන් බෝට්ටු තුනක්ද, සීමිත ආහාර ප‍්‍රමාණයක්ද, වැරහැළි වූ ඇදුම්ද, ජරාජීර්ණ වූ කූඩාරම් කිහිපයක්ද සමග සටන් වදින නිර්භීත සැබෑ මිනිසුන්ගේ කතාව, ඔබ කියවිය යුතුම කතාව ”හිරු නොදුටුවෙමු” ය.

No comments:

Post a Comment