Friday, January 13, 2012

සංසන්ධිකයා - ෆෙඞ්රික් ෆෝසයිත්

THE NEGOTIATOR – Frederick Forsyth

සංසන්ධිකයා - ෆෙඞ්රික් ෆෝසයිත්
පරිවර්තනය - අභය හේවාවසම්
සූරිය ප‍්‍රකාශකයෝ
මිළ රු.650

”ඔක්ස්ෆෝඞ්ෂයර්හීදී ගම්බද පාරකදී තරුණයෙකු පැහැරගැනීම, එක්සත් ජනපදයේ ජනාධිපති එම ධූරයෙන් පැන්නීමට ආරම්භ කරනලද, අතිබිහිසුණු, අනුකම්පා විරහිත ක‍්‍රියාදාමයේ ආරම්භය පමණි. එය සාර්ථක වුවහොත් ඔහු මානසිකව මෙන්ම සිතිවිලි අතින්ද විනාශ වනු ඇත. එය වැලැක්වීමට සමත් එකම පුද්ගලයා වන්නේ, ලොව ප‍්‍රමුඛ පෙළේ සංසන්ධිකයා වන ක්වින් පමණි. ඔහුට අසරණ මිනිසකුගේ ජීවිතය බේරාගැනීමට අතරමැදි වීමට සිදුවූයේ, පැහැරගෙන ගිය අයගේ එකම බලාපොරොත්තුව කප්පම් මුදල බව නොදැනය.”

සංසන්ධිකයා ග‍්‍රන්ථයේ කවරයේ පිටුපස පැත්තේ මුද්‍රිත ඉහත ප‍්‍රකාශය තුල සදහන් තරුණයා සයිමන් කෝර්මැක් නම් අන් කිසිවකු නොව අමෙරිකානු ජනාධිපති ජෝන් කෝර්මැක් ගේ එකම පුත‍්‍රයාය. 
වර්ෂ 1992 ආසන්නකාලයේ ගෝලීය දේශපාලනය තුල ඇතිවූ තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යයක් සේ සැළැකිය හැකි සිදුවීමකි සෝවියට් දේශය සහ ඇමරිකා එක්සත් ජනපදය අතර ඇතිවූ නැන්ටකට් ගිවිසුම. මෙම ගිවිසුම හරහා එතෙක් තරගකාරී ලෙස එකිනෙකාට එරෙහිව තමන්ගේ යුධ ශක්තිය වර්ධනය කරගැනීමට වළිකන ලද මේ ගෝලීය බලවතුන් දෙදෙනා ස්වේච්ඡුාවෙන් තම තමන්ගේ යුධ ශක්තීන් සීමා කරගැනීමට මෙම ගිවිසුම හරහා එකගවූහ. මේ යටතේ සීතල යුද්ධය නිමාවී ධනේශ්වර කදවුර සහ සමාජවාදී කදවුර අතර ඇතිවිය හැකිව තිබූ තුන්වන ලෝක යුද්ධයක් පිළිබද භීතිය ලොක වාසීන්ගේ සිත් සතන් වලින් තුරන් වුවද පසුකාලීනව සෝවියට් දේශය බිදවැටීම සදහා වූ ප‍්‍රධානතම සාධකයක් ලෙස මෙම නැන්ටකට් ගිවිසුම ගෝලීය දේශපාලන විචාරකයෝ හදුන්වති.
මෙම ගිවිසුම් ඇතිකරගැනීම හා සමගාමීව සිදුවී යැයි කියන යම් යම් සිදුවීම් ආශ‍්‍රය කරගනිමින් ලෝකයේ අති සාර්ථකම දේශපාලන ප‍්‍රබන්දකරුවා වන ෆෙඞ්රික් ෆෝසයිත් මෙම අගනා ග‍්‍රන්ථය රචනා කර ඇත. නැන්ටකට් ගිවිසුම කෙරෙහි එකිනෙකට ප‍්‍රතිවිරුද්ධ වූ හේතුන් නිසා විරෝධාකල්පයක් දරන ඇමරිකානුවන් පිරිසක් හා රුසියානු ආරක්ෂක අංශවල ඉහළම නිලතල දරන්නා වූ පුද්ගලයන් කිහිපදෙනෙක් අතර ඇතිවන තාවකාලික එකගතාවයක් මෙම කුමන්ත‍්‍රණයේ මූලාරම්භය වේ. මෙම ගිවිසුම ඇතිවීම වැලැක්වීම සදහා ඔවුන් තෝරාගනු ලබන මාර්ගය වන්නේ ජනාධිපති වරයාට පුත‍්‍ර වියෝගයේ වේදනාව දැනීමට සලස්වා පරිපාලන කාර්යයන් වලට සිත යොමු කිරීමට නොහැකි වන මානසික තත්වයක් ඔහු තුල ජනිත කරවීමයි. මේ අරමුණ නොදත් ධවල මන්දිර කාර්ය මණ්ඩලය මෙවන් සිද්ධීන් සම්බන්දයෙන් විශේෂීකරණය වූ, ප‍්‍රාණ ඇපකරුවන් ගලවා ගැනීම සම්බන්දයෙන් විශේෂඥයකු වන කිවින් මේ සදහා යොදාගනී. තමාගේම ක‍්‍රමවේදයන්ට යටත්ව කටයුතු කිරීමට කැමති ක්වින්ට මේ සම්බන්දයෙන් වන බි‍්‍රතාන්‍ය හා අමෙරිකානු නිලධාරීන්ගේ මැදිහත්වීම කරදරකාරී වන නමුත් උපක‍්‍රමශීලීව නියමිත අවස්ථාවේ ඔවුන්ගේ ග‍්‍රහණය මගහැර තමාගේ ආවේණික ක‍්‍රමවේදයට අවතීර්ණ වන ක්වින් සාර්ථක ලෙස සයිමන් කෝර්මැක්ව කප්පම් කරුවන්ගෙන් මුදාගනී. එහෙත් ඔහුට ඉන්පසු මුහුණදීමට සිදුවන්නේ කිසිසේත් බලාපොරොත්තු නොවූ අත්දැකීමකටය. ඇස් අන්ධ කරවන, අතිශය දීප්තිමත්, ක්ෂණික ආලෝකයක්...............
කතාව ඇරඹෙන්නේ එතැන් සිටයි. සයිමන් කෝර්මැක් පැහැරගැනීම සම්බන්දයෙන් වන සත්‍යය අනාවරණය කරගැනීමේ ක්වින්ගේ මහා සංග‍්‍රාමය එතැන්සිට කතුවරයා ලොමු ඩැහැගන්නා අයුරින් විස්තර කරයි. සාර්ථකත්ව පෙනි පෙනී කිහිපවරක් ඇදවැටීම, අහඹු ලෙස ලැබෙන සාක්ෂි, බලාපොරොත්තු කඩවීම්, ක්ෂණිකව මරණයට පත්වීමේ අවදානම ආදී වූ දහසකුත් එකක් අභියෝග මධ්‍යයේ තම අරමුණ ජයගැනීමට ක්වින් හෙවත් සංසන්ධිකයා අවසානයේ සමත් වෙයි. 
ලොමු ඩැහැගන්නා කතාන්තරයට අමතරව දේශපාලන ලෝකයේ හැරවුම් ලක්ෂ්‍යයක් වන නැන්ටකට් ගිවිසුම හා සම්බන්දිත දේශපාලන පොරපිටියේ සිදුවීම්ද ප‍්‍රබන්දකරුවා මනා ලෙස, කියවන්නාගේ රසවින්දනයට බාධාවක් නොවන පරිදි ඉදිරිපත් කිරීමට සමත් වී ඇත. මෙම සිදුවීම කුමන්ත‍්‍රණයේ එක් පියවරක් පමණක් වන අතර ඇමරිකාව දෙසින් මෙන්ම සෝවියට් දේශය දෙසින්ද මේ හා සමගාමීව ක‍්‍රියාත්මක වන්නාවූ තිරය පිටුපස සැලසුම්ද සමගින් ගෝලීය බලය ආරක්ෂා කරගැනීම සදහා ලෝක බලවතුන් දෙදෙනාගේ නිහීන ක‍්‍රියාකාරකම් සම්බන්දව මනා විග‍්‍රහයක් සිය ප‍්‍රබන්දය අතරතුර ඉදිරිපත්කිරීමටද ෆෝසයිත් අමතක නොකරයි. 
කෙසේ වෙතත් දැන් සිටින්නේ එක් ලොක බලවතකු පමණි. ඒ නිසා සමස්ථ ලෝක වාසීන්ට විදින්නට සිදුවී ඇති අපහසුතා අපි අද ඇස් පනාපිට දකිමු. ලෝක දේශපාලනයේ එවන් බරපතල වෙනස්කමක් ඇතිකළාවූ අතිශය වැදගත් මෙම සිදුවීම හා ඒ අවට පරිසරය පිළිබද අධ්‍යනය කරන්නෙකුට රසවින්දනයද සමගින් අවශ්‍ය දැනුමද සපයාදෙන අනුපමේය ග‍්‍රන්ථයකි සංසන්ධිකයා.

No comments:

Post a Comment