Wednesday, January 11, 2012

යුධ බල්ලෝ - ෆෙඞ්‍්‍රක් ෆෝසයිත්

THE DOGS OF WAR – Frederick Forsyth

යුධ බල්ලෝ - ෆෙඞ්‍්‍රක් ෆෝසයිත්
පරිවර්තවය - අභය හේවාවසම්
සූරිය ප‍්‍රකාශකයෝ
මිළ රු. 650
රටවල් කිහිපයක් එකට ඈදා ගනිමින් ප‍්‍රබන්දයන් නිර්මාණය කරමින් විශ්ව ප‍්‍රබන්ධ සාහිත්‍යයේ නොමැකෙන ලකුණක් සනිටුහන් කළ ෆෙඞ්‍්‍රක් ෆෝසයිත් ගේ තවත් කුතුහලය දනවන අද්විතීය නිර්මානයකි.
ශී‍්‍රමත් ජේම්ස් මැන්සන්, මැන්සන් කොන්සොලිඬේටඞ් කැණීම් සමාගමේ සභාපති වරයා පමණක් නොව දේශපාලන බලපුළුවන්කාරකමක්ද ඇති ධන කුවේරයෙකි. අප‍්‍රිකාවේ දුෂ්කර රාජ්‍යයක් වන සැන්ගාරෝවේ පවත්නා ඩොලර් බිලියන දහයක් වටිනා ප්ලැටිනම් කන්දක් පිළිබදව තොරතුරු දැනගන්නා ඔහු එය අත්පත් කරගෙන ක‍්‍රම කීපයකින්ම ඒ හරහා ආර්ථික වාසි ලැබීම සදහා පිඹුරුපත් සකසන්නේ අහසේ මාළිගා තනනවාට වඩා දැඩි විශ්වාසයකින් යුතුවය. ප්ලැටිනම් අලෙවි කිරීමෙන් ලැබෙන ආර්ථික වාසිය, එය කොටස් වෙළෙදපොල සම්බන්දයෙන් යොදාගනිමින් ලබන උපක‍්‍රමශීලී ලාභයන් පිළිබදව ඔහු නිරතුරුවම සිහින මවයි.
ඔහුට හදුනාගත හැකි ප‍්‍රධාන අභියෝගය වන්නේ සැන්ගාරෝවේ ඒකාධිපති කෘර පාලනයක් ගෙනයන කිම්බාය. අපැහැදිලි විදේශ ප‍්‍රතිපත්තියක්ද, අවිශ්වාසකටයුතු හා තරමක් මුග්ධ රාජ්‍ය තාන්ත‍්‍රික හැසිරීම් රටාවක්ද ප‍්‍රකට කරන කිම්බා බලයෙන් පහකර තමන්ට අල්ලේ නැටැවිය හැකි රූකඩ පාලකයෙකු සැන්ගාරෝවට පත්කර ගැනීම ශ‍්‍රීමත් මැන්සන් ගේ අරමුණයි. මේ සදහා අත දිගහැර මුදල් වියදම් කිරීමට ඔහු මැළි නොවන්නේ ඉන්පසු ඔහු ලබන ලාභය ඒ සදහා දරණ වියදම මෙන් විසි තිස් ගුණයකින් අධික වන බව හොදාකාරවම දන්නා නිසාය.
කුඩා හා දුබල වුවද රටක රජයක් කුමන්ත‍්‍රණයක් මගින් පෙරලීම ඉතාමත් සැළසුම් සහගතව කළ යුතු සංකීර්ණ කාර්යයකි. මේ සදහා විශ්වාසවන්ත හා පළපුරුදු කුලී හේවායකුගේ අවශ්‍යතාවය මැන්සන්ට  මතුවේ. විවිධ පුද්ගලයන් කිහිපදෙනෙකු පිළිබදව අධ්‍යනය කිරීමෙන් පසුව කැට් ෂැනන් ඒ සදහා සුදුස්සා වශයෙන් තෝරාගන්නා අතර ඔහුට පැවරෙන්නා වූ වගකීම වන්නේ යම් නිශ්චිත දිනයකදී සැන්ගාරෝව ආක‍්‍රමණය කිරීම හා ක්ෂණික කුමන්ත‍්‍රණයක් මගින් සැන්ගාරෝවේ ආඥාදායක කිම්බා මරා දමා මැන්සන් ගේ රූකඩ පාලකයා එහි ජනාධිපති කරවීමය.
කැට් ෂැනන් යනු ඉතා පළපුරුදු මෙන්ම බුද්ධිමත් කුලී හේවායෙකි. විශ්වාස වන්ත කුලී හේවා කණ්ඩායමක්ද ඔහුට සිටියි. ඔහුට පැවරෙන රාජකාරිය සම්බන්දයෙන් ඉතා ක‍්‍රමාණුකූල ශක්‍යතා වාර්තාවක්, සැළැස්මක් සහ ඇස්තමේන්තුවක් ඉදිරිපත් කිරීම මගින් මැන්සන්ගේ මෙන්ම පාඨකයාගේද සිත් දිනා ගැනීමට කැට් ෂැනන් සමත් වේ. ඒ හරහා මෙම ව්‍යාපෘතියට අවශ්‍ය අතිවිශාල මුදල් කන්දරාව සදහා මැන්සන් වෙතින් අනුමැතිය ලබාගන්නා ෂැනන් තම ජීවිතයේ අනුපමේයම මෙහෙයුම සදහා දිවා රාත‍්‍රි නොබලා වෙහෙස වෙමින් සූදානම් වේ.
නමුත් සැන්ගාරෝව වැනි ඝර්ම කලාපික, දුෂ්කර තුට්ටු දෙකේ රාජ්‍යයක මුළු දළ දේශීය නිෂ්පාදිතයත් ඉක්මවන ආදායමක් ඇති මැන්සන් එහි ආඥාදායකයා බලයෙන් පහ කිරීමට සූදානම් වන්නේ හුදු ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කරලීමේ අවිහිංසක හා පරම පිවිතුරු චේතනාවෙන් බව විශ්වාස කිරීමට බුද්ධිමත් කැට් ෂැනන් මැළි වේ. මේ සම්බන්දයෙන් ඔහුටම විශේෂිත ආකර්ශනීය ක‍්‍රමවේදයන් හරහා සත්‍යය අනාවරණය කරගැනීමට ඔහු සමත්වේ. තමා ලූහුබන්දවා ඇත්තේ කුමක් පසුපසද යන කාරණාව හරිහැටි දැනගෙන, වෙනස්ම උපමානයකින් කාර්යයට අවතීර්ණ වීමට ඔහු තීරණය කරන්නේ ඉන් පසුවය. මෙම සත්‍ය අනාවරණය කරගැනීමේ ෂැනන් ගේ මෙහෙයුම තුලදී ඔහු මැන්සන්ගේ දියණිය සමග පේ‍්‍රම සබදතාවයක්ද ඇති කරගන්නා අතර ඇයටද මේ සිදුවීම හරහා අසාධාරණයක් නොවන තැනට කටයුතු සැළසුම් කිරීමට හේ ප‍්‍රවේශම් වෙයි.
මැන්සන් අනුමත කරන ලද මුදල් ඇස්තමේන්තුව භාවිතා කරමින් ෂැනන් පාඨකයාගේ සිත් ඇද බැද ගනිමන් තමාගේ සංකීර්ණ සැලැස්ම ක‍්‍රියාවට නංවයි. මෙහෙයුම සදහා අවශ්‍ය කරන කෑමබීම, ඇදුම් පැළදුම, අවි ආයුධ මෙන්ම නෞකාවක් වැනි අතිරේක පහසුකම්ද නියම වෘත්තිකයෙකුගේ ස්වරූපය පලකරමින් ඒකරාශී කරගැනීමට කැට් ෂැනන් සමත් වෙයි. මේ අතරතුර කැට් ෂැනන්ගේ වෘත්තීය සතුරකු වන රෞවුක්ස්ද මෙම සිද්ධියට අවතීර්ණ වී ඇති බව ෂැනන්ට දැන ගැනීමට ලැබෙන අතර ඔහුගෙන් ඍජුවම ෂැනන්ගේ ජීවිතයට තර්ජන එල්ල වන නමුත් ඔහුවද උපායශීලී ලෙස මගහැරීමට ෂැනන් සමත්වෙයි.
ශ‍්‍රීමත් මැන්සන් අමන්දානන්දයට පත්කරවමින් පොරොන්දු වූ දිනටම සාර්ථක ආක‍්‍රමණයක් මගින් සැන්ගාරෝව අත්පත් කරගැනීමටද, එහි ආඥාදායක කිම්බා ඔහුගේ මිනීමරු අනුගාමිකයන් රොත්තත් සමගම මරු තුරුළට යැවීමටද කැට් ෂැනන් හා පිරිවර සමත් වෙයි. සැලැස්ම නූලක් හෝ එහා මෙහා නොවී සැලසුම් කළ පිළිවෙලටම සිදුවීම පිළිබද අපමණ සන්තෝශයට පත්වන මැන්සන් සැන්ගාරෝවේ පාලනය භාරගැනීමට ඔහුගේ රූකඩයාට ආරාධනා කරයි.
නමුත්... සැන්ගාරෝවේ නව පාලකයා වීමට අපේක්ෂාවෙන් එහි යන කර්නල් ඇන්ටොයිනේ බොබී හෙවත් මැන්සන්ගේ රූකඩ පාලකයාට මුහුණදීමට සිදුවන්නේ කිසිසේත් බලාපොරොත්තු නොවූ අත්දැකීමකටය.
මිනිසුන්ට මරණය ඉව වැටුණුවිට හා එයින් ගැලවීමක් නොමැති බව අවබෝධ වූ විට එක්කෝ ඔහු වියරු වැටෙනු ඇත. නැතිනම් තමා මියයන්නට පෙර එක් සාධාරණ වූූ සත්ක‍්‍රියාවක් හෝ සිදුකල යුතු බවට අධිෂ්ඨාන කරගෙන ඒ අනුව වැඩ කරනු ඇත. තමාට සුවකල නොහැකි පෙනහළු පිළිකාවක් ඇති බවත් ඒ නිසා තම ජීවිතය ඉතා කෙටි එකක් බවත් මෙම කුමන්ත‍්‍රණයට මාස කීපයකට පෙර දැනගන්නා චෞරයා කැට් ෂැනන් ගන්නට ඇත්තේ කුමන තීරණයද?
පුරා පිටු 567ක් පුරා විහිදෙන අතිශය ත‍්‍රාසජනක, ලොමු දැහැගන්වන, කතාන්තරය අත්විදින්න.
කියවන්න ”යුධ බල්ලෝ”

2 comments:

  1. මම කියවපු පොත් වලිං හොඳම දෙ‍වැනි තැනට දාපු පොත මේක... නියමයි...

    ReplyDelete